අනියම් සහනා‍‍ධාර ගෙවීම්

අනියම් සහනාධාර ගෙවීම්

අනියම් සහනාධාර වලින් අපේක්ෂා කරන්නේ හදිසි ආපදාවකදී විපතට, අනාථ බවට පත්වීම වැලැස්වීම පමණක් මිස ජීවන තත්වය වැඩි දියුණු කිරීම නොවේ.

පුද්ගලයාට පාලනය කරගත නොහැකි, සුළු පරිමාණයෙන් සිදු වන, ස්වාභාවික විපතකින් තමා පදිංචි එකම නිවසට සිදුවන අලාභ හානියක් හෝ විනාශ වීමකදී විපතට අනාථ බවට පත්වීම වැලැක්වීම හෝ එවැනි සිද්ධියක් හේතුවෙන් ජීවනෝපාය කර්මාන්තය සඳහා භාවිත ආයුධ හෝ මෙවලම් විනාශ වීමකදී ඒවා සපයා ගැනීම වෙනුවෙන් ගෙවන ආධාර දීමනාවකි.

උදාහරණ:  සුළගින් නිවාස පෙරලීම, වර්ෂවෙන් නිවාස කඩා වැටීම, ගින්නෙන් වහලය පිළිස්සීම, ගසක් කඩා වැටීමෙන් නිවාස කඩා වැටීම.

ගෙවන ආධාර මුදල

« අලාභ හානියේ ස්වභාවය අනුව තක්සේරුව මත නිවසක් සඳහා රු:  10000 උපරිමය දක්වා වු මුදලක් ලබාදේ.  (වාර 03 කින්)

« ගෙයකට සිදුවී ඇති හානියේ වටිනාකම තක්සේරු කිරීමේදී ලී බඩු රෙදි පිළි හා අනිකුත් ගෙදර දොරේ බඩු මුට්ටු වලට සිදුව ඇති හානියේ වටිනාකම සැලකිල්ල නොගත යුතුය.

« මුලුතැන් ගෙයි උපකරණ සඳහා ඒවා මිලදී ගත් බවට කුවිතාන්සියක් ඉදිරිපත් කල යපු රු:  500 ක උපරිමයකට යටත්ව ද, වෘත්තීය මෙවලම් සඳහා ඒවා මිලදී ගත් බවට කුවිතාන්සියක් ඉදිරිපත් කළ පසු රු:  1000 ක උපරිමයකට යටත්ව ද හැකිය.

« නිවසට සිදු වූ සම්පූර්ණ අලාභය පියවිමක් මින් අදහස් නොකෙරේ.  පුද්ගලයෙකු වූ ලාභය අවම කර ගැනීම සඳහා ඔහුව සහාය වීමක් මින් අපේක්ෂා කරේ.

ඉල්ලුම් කිරීමට සුදුසුකම්

« කඩා වැටුණු නිවාස ඉල්ලුම්කරුට අයත් බව සහ ඔහු එහි පදිංචිව සිටින බව

« පදිංචියට කඩා වැටුණු නිවාස හැර වෙනත් ස්ථානයක් නොමැති බව

« මාසික ආදායම රු:  3000 අඩු බව

« නිවාස තනා ගැනීමට ආධාර නොලද හොත් අනාථභාවයට පත් විය හැකි බව

ආධාර ගෙවීම් සඳහා නොසැලකෙන අවස්ථා

« ඉල්ලුම්කරුට නිවසේ අයිතිය නොතිබීම

« ඉල්ලුම්කරුට පදිංචියට සුදුසු තවත් නිවසක් තිබීම

« පදිංචිව සිටි නිවසක් නොවිම

« අත්හල නිවසක් බව

« පූජනීය ස්ථාන, වෙළඳ කඩ, ව්‍යාපාරික ස්ථාන, විශ්‍රාම ශාලා ගණයට අයත් වීම

« අනවසර පදිංචි ස්ථානයක් බව

« කුලී හා බදු නිවාසයක් බව

« කිසිවකු විසින් අලාභ හානි සිදු කල නිවාස

« මුර කුටි හෝ මුර ගෙවල්

« හානිය සිදුවී මාස 06 ක් ඇතුලත වාර්තා කර නොතිබීම

ආධාර මුදල් ගෙවීමේ ක්‍රියා පරිපාටිය

01.  අලාභය සිදුවූ තැනැත්තා ඒ බව තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීට දැන්වීම (ගිණි ගැනීමකින් සිදු වූ හානියක් නම් පොලිස් වාර්තාව අනිවාර්යෙන්ම තිබිය යුතුය)

02.  ග්‍රාම නිලධාරී විසින් ව.ප.ස.සේ. 04 ආකෘතිය මගින් ප්‍රාදේශීය ලේකම් වෙත වාර්තා කිරිම

03.  ප්‍රාදේශීය ලේකම් විසින් සමාජ සේවා නිලධාරීගේ නිර්දේශය සඳහා අදාල ආකෘති පත්‍රය ඔහුට බාරදීම

04.  සමාජ සේවා නිලධාරී ස්ථාන පරීක්ෂණයක් කර අලාභය පිළිබඳ තම තක්සේරුව සමග අදාල නිර්දේශය ප්‍රාදේශීය ලේකම්ට ඉදිරිපත් කිරිම

05.  ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශය ලබාගෙන අදාල ආකෘතිය පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවට එවීම

06.  සමාජ සේවා පළාත් අධ්‍යක්ෂ එම වාර්තාව ස්ථාන පරීක්ෂා කිරීම මූලස්ථාන සමාජ සේවා නිලධාරීන්ට යොමු කිරිම.  තක්සේරු වටිනාකම මත මෙය රදා පවතී.

07.  මූලස්ථාන සමාජ සේවා නිලධාරී නිර්දේශය ස්ථාන පරීක්ෂාවෙන් පසු සමාජ සේවා පළාත් අධ්‍යක්ෂට ලබාදීම

08.  සමාජ සේවා පළාත් අධ්‍යක්ෂ ගෙවන මුදල් අනුමත කිරීම

09.  විෂය භාර නිලදාරීට යොමු වීම - ඔහු විසින් අනුමත මුදල් සඳහා වප/සසේ/9 ආකෘතියේ වවුචර් පත් සහ 143 පොදු ආකෘති පත්‍රය ගෙන්වා ගැනීම හා චෙක්පත් සකස් කර අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යැවීම

10.  ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් චෙක්පත ලද බවට මුදල් භාර ගැනීමේ කුවිතාන්සියක් පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවට එවීම/කුවිතාන්සි නොලදහොත් ගෙන්වා ගැනීම (පළාත් කාර්යාලය මගින්)

11.  ලැබුණු ආධාර පිළිබඳව ස.සේ.නි දැනුවත් කිරිම හා ලේඛනයේ සටහන් කිරිම

12.  ආධාරලාභියාට මුදල් ලැබී ඇති බව දන්වා අනන්‍යතාවය තහවුරු කරෙගන මුදල් ගෙවීම (ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින්)

13.  මුදල් ගෙවා නිම කළ වවුචර් සතියක් ඇතුළත පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවට එවීම/වවුචර් නොලදහොත් ගෙන්වා ගැනීම (පළාත් කාර්යාලය මගින්)

14.  අදාල මුදල් යොදවා අලාභ හානියට පත් වූ නිවාසය පිළිසකර කරන්නේ දැයි සසේනි විමසිලිමත් විය යුතුය.  එසේ නොකරන්නේ නම් ගෙවූ මුදල් වහාම ආපසු ගෙවන ලෙස අදාල අයට දැන්විය යුතුය.  වෙනත් ආධාර සඳහා ඔවුන් නොසලකා හැරේ.

15.  වාරික වශයෙන් ගෙවනු ලබන අවස්ථාවන් හිදී ලබාදුන් වාරිකයෙන් නිම කළ වැඩ ගනැ සෑහීමට පත් වන්නේ නම් පමණක් දෙවැනි හා තුන්වැනි වාරික ගෙවීම් සඳහා සමාජ සේවා නිලධාරී තම නිර්දේශ ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කරයි.

16.  ලබාදුන් වාරිකයෙන් සෑහීමකට පත් විය හැකි පරිදි වැඩ නිම කර හෝ අවම වශයෙන් ගොඩනැගිලි ද්‍රව්‍යවත් සපයා ගෙන නොමැති නම් ඉතිරි වාරික ගෙවීම් සඳහා නිර්දේශ ඉදිරිපත් කරනු නොලැබේ.

17.  දෙවැනි හා තුන්වැනි වාරික ගෙවීම් සඳහා සසේනි ඉදිරිපත් කරන නිර්දේශය මත වප/සසේ/9 ආකෘතියේ වවුචර් පත් සහ 143 පොදු ආකෘති පත්‍රය, ප්‍රාදේහීය ලේකම් විසින් තම නිර්දේශය සමග සමාජ සේවා පළාත් අධ්‍යක්ෂ වෙත යොමු කෙරේ.

18.  සමාජ සේවා පළාත් අධ්‍යක්ෂ ගෙවන මුදල් අනුමත කිරිම හා චෙක්පත් සකස් කර අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට යැවීම.

19.  අනිකුත් කරුණු ඉහත 10, 11, 12, 13 හා සමාන වේ.

වන අලින්ගෙන් භෝග සඳහා වන පාඩුවෙනුවෙන් ආධාර ගෙවීම

වන අලින්ගෙන් භෝග සඳහා වන පාඩු වෙනුවෙන් ආධාර ගෙවීම සලකා බැලිය හැක්කේ අදාල වගාව, ඉල්ලුම්කරුගේ ජීවිකා වෘත්තිය ව තිබුණේ නම් හා ඉතිරිව තිබෙන වගා හා ඔහුගේ අනිකුත් ආදායම් ඊළග වාරයේ අස්වැන්න නෙලාගන්නා තෙක් යැපීම සඳහා ප්‍රමාණවත් නොවන්නේ නම් පමණකි.

« වල් අලින් විසින් පාළු කරන ලබන ආහාර භෝග වගාවන් සඳහා රු:  20000 ක උපරිමයකට යටත්ව උපරිම වශයෙන් එක් අක්කරයක් සඳහා ආධාර මුදල් ගෙවීම සලකා බලනු ලැබේ.

« වල් අලින් විසින් පාළු කරන ලබන ආහාර භෝග වගාවන් සඳහා ආධාර මුදල් ගෙවීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරයා හරහා කොළඹ 03, ගාලු පාරේ අංක 189 හි ආපදා සහන සේවා අමාත්‍යාංශයෙන් ලබාගත හැක.

ආධාර ලැබීමට සුදුසුකම්

« අයදුම්කරුට නීත්‍යානුකූල අයිතියක් තිබෙන වගාවක් වීම

« පවත්නා රක්ෂණ ක්‍රමයක් යටතේ ආවරණය කළ නොහැකි වගාවක් බව

« කෙටි කාලීන භෝග හා වෙනත් ආර්ථික භෝගයක් බව

« විපත බරපතල වීම හා ආධාර නුදුනහොත් අනාථ භාවයට පත්වීමට ඉඩ ඇති

« රු:  3000 ට අඩු ආදායම් ලබන්නෙකු වීම (මහජනාධාර ලැබීමට සුදුසුකම් ඇති)

« පුද්ගලික අයිතියේ ඉඩම් හිමිකම ඇති ගොවීන් වීම

« මීට පෙර වල් අලි පාලු වෙනුවේ වන්දි අයදුම් කර නොතිබීම

(ආධාර ගෙවීම සඳහා සලකා බැලෙනුයේ උපරිම වශයෙන් අක්කර එකක් පමණකි.)

ආධාර ලබාගන්නා ක්‍රමය

01.  වල් අලින් විසින් කරන ලද වගා පාළු පිළිබඳ විස්තරා.  හානිය සිදු වී පැය 48 ක් තුළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීට දැන්වීම

02.  ග්‍රාම නිලධාරී විසින් වල් අලි පාලු ආධාර ඉල්ලීමේ ඉල්ලුම් පත්‍රයක් පුරවා ඔහුගේ නිර්දේශය සමග ප්‍රාදේශීය ලේකම්ට යැවීම

03.  ප්‍රාදේශීය ලේකම් විසින් කෘෂි නිලධාරි වාර්තාව කැඳවීම

04.  ඉන්පසු එම වාර්තාව නිර්දේශය සඳහා සමාජ සේවා නිලධාරීට යොමු කිරීම

05.  සමාජ සේවා නිලධාරී පරීක්ෂා කර නිර්දේශ කළ පසු ප්‍රාදේශීය ලේකම් නිර්දේශ කිරීම (හානිය බරපතල නම් ප්‍රාදේශීය ලේකම්ගේ පුද්ගලික අධීක්ෂණය)

06.  ඉන් පසු එම අයදුම්පත්‍ර සමාජ සේවා පළාත් අධ්‍යක්ෂ වෙත යොමු කිරීම

07.  පළාත් අධ්‍යක්ෂ විසින් වාර්තාගත හානියේ තක්සේරුව මත, අවශ්‍ය වෙතොත් මූලස්ථාන සමාජ සේවා නිලධාරී නිර්දේශ සඳහා යොමු කිරිම

08.  මූලස්ථාන සමාජ සේවා නිලධාරී නිර්දේශ ලද පසු/වාර්තාගත හානියේ තක්සේරුව මත, සමාජ සේවා පළාත් අධ්‍යක්ෂ අදාළ අයදුම් පත්‍ර අනුමත කිරිම

අනියම් සහනාධාර ගෙවීම් යටතේ දක්වා ඇති 9 - 12 ක්‍රියා පරිපාටිය මීට අදාල වේ.

වන අලින් විසින් විනාශ කරන ලද නිවාස හා දේපළ හා වන අලි පහර දීමකින් සිදුවන ජීවිත හානි සහ බෙලහීනතා සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශ අංක 025/2004 යටතේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇත.

 

අනියම් සහනාධාර

නිවාස ආධාර

  1. විදුලි කාන්දුවීම වලින් වන හානියකදී
  2. අකුණු සැර වැදීමෙන් වන හානියකදී
  3. බෝම්බ ප්‍රහාරයකින් වන හානියකදී

ජීවිත සඳහා

  1. ඉහත තෙආකාරයෙන් සිදුවන ජීවිත හානියකදී
  2. ඉහත (ii) හා (iii) යටතේ පූර්ණ බෙලහීනතාවයකදී
  3. ඉහත (ii) හා (iii) යටතේ අර්ධ බෙලහීනතාවයකදී
  4. ඉහත (ii) හා (iii) යටතේ සාමාන්‍ය ආබාධිතභාවයක

ගෙවන ක්‍රමය

නිවාස ආධාර

01.  ඉහත තෙආකාරයෙන් කුමන අයුරකින් හෝ අදාල නිවස හානි සිදුවී ඇති බව තහවුරු වී තිබීම (පොලිස් වාර්තා, විදුලි බිල්පත්)

02.  නිවසේ හිමිකම අයැදුම්කරු සතු බව තහවුරු කිරිම

03.  නිත්‍ය පදිංචි ස්ථානය බව හෝ පදිංචිය සහිත සුලු ව්‍යාපාර ස්ථානයක් බව තහවුරු කිරීම

04.  අලාභයේ ප්‍රමාණය මත ගෙවීම් කරන බව

05.  ගෙවන උපරිමය රු:  20000

06.  පවුලේ මාසික ආදායම රු:  5000 අඩු අය ගැන පමණක් සැලකේ.

ජීවිත සඳහා

« අදාල ජීවිත හානිය සිදුවී ඇත්තේ විදුලි කාන්දුවීමකින් වූ නැතහොත් අකුණු සැර වැදීමෙන් ම වූ බව, නැතහොත් බෝම්බ ප්‍රහාරයකින්ම වූ බව වෛද්‍ය වාර්තාවෙන්/මරණ සහතිකයෙන් තහවුරු විය යුතුය.

« මරණකරුගේ කලත්‍රයාට හෝ කලත්‍රයා නොමැති නම් ප්‍රධාන යැපෙන්නාට මරණ සහතිකය ද සමග තම ඥාතීත්වය තහවුරු කිරීමෙන් පසු මේ මුදල ලබාගත හැකිය.

බෙලහීනතාවයකදී

« අකුණු සැර හා බෝම්බ පිපිරීම් වලදී සිදුවන පූර්ණ බෙලහීනතාවයකදී, අර්ධ බෙලහීනතාවයකදී හෝ සාමාන්‍ය ආබාධිතභායකදී ද ඒ බව වෛද්‍ය වාර්තාවෙන් තහවුරු විය යුතුය.

« වෛද්‍ය වාර්තාවෙන් තහවුරු කරන පරිදි

පූර්ණ බෙලහීනතාවයකදී                      80%

අර්ධ බෙලහීනතාවයකදී                       50%

සාමාන්‍ය ආබාධිතභාවයකදී                  25% ක් වශයෙන්

නියමිත මුලු මුදලින් කොටසක් හානියට පත් වූ පුද්ගලයාට ගෙවනු ලැබේ.  මෙහිදී වයඹ සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක, විදුලිබල නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ලේකම්ගේ අංක වප/5/ආ5/5/03 හා 2004.12.01 දිනැති ලිපිය මගින් හඳුන්වා දී ඇති ආකෘතිය ප්‍රයෝජනයට ගනිමින් අදාල සියලු කරුණු සම්පූර්ණ කර ආධාර ක්‍රමයන් සඳහා යොදා ගන්නා ක්‍රමවේදය අනුගමනය කරමින් විශේෂ වන්දි කමිටුවට යොමු කළ හැකි වන පරිදි සමාජ සේවා පළාත් කාර්යාලයට යොමු කළ යුතුය.

විශේෂ වන්දි කමිටුවෙන් අනුමත අයදුම් පත් සඳහා සමාජ සේවා පළාත් කාර්යාලය හරහා පෙර දක්වා ඇති ආකාරයට අදාල වවුචර් හෝ වවුචර් සමග කාඩ්පත් ගෙන්වා ගැනීමෙන් අනතුරුව මුදල් ගෙවනු ලැබේ.

බාගත කිරිම

  1. Application 05
  2. Application 06

Last Update :-

1st Jan 2023